මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් දැකීම

0

මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් හෝ  දකින්නට ඇත්නම් ?. මෙය බොහෝ මුස්ලීම්වරුන් තුල තිබෙන නොසංසිදෙන ආශාවකි. එවැනි අවස්ථාවක් මුස්ලීම්වරයෙකුට හිමිවේනම්  එය ඔහු ලබන ඉමහත් ම භාග්‍යයක් යන්නෙහි විවාදයක් නැත. තම ප්‍රාණයට වඩා ආදරය කරන, එතුමාව තම ජීවිතයට පරමාදර්ශය කොට ජීවත් වන අපිට එතුමා දැකීම තරම් සතුටක් තවත් තිබිය හැකිද?. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ව (එතුමාණන්ව ජීවමානව නොදුටු) අපට සිහිනෙන් දැකිය හැකිද?.

පසුගිය ජුම්මා (2019/11/29 සිකුරාදා දේශන) අවස්ථාවක එක්තරා පූජකවරයෙකු විසින් මුහම්මද් (සල්) තුමාණන්ව අපට සිහිනෙන් හා ජීවමානව දැකිය හැකි බවත්, ඒ සදහා අල්ලාහ් (දෙවි) අපට භාග්‍යයක් ලබාදෙත්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කරන ආකාරයත් දකින්නට ලැබුණි. මහඵ වියක පසුවන පරිණත දේශකයෙකු ලෙස පෙනීසිටින ඔහු ඉතා හැඟීම් බරව ශුද්ධ වූ සිකුරාදා දේශන වේදිකාවක මෙලෙස ජනයා නොමඟ යැවීමක් කරන ආකාරය දුටු විට ඇති වූයේ ඉමහත් කලකිරීමකි. මේ හේතුව නිසාම මෙම විෂය එනම්, ‘මුහම්මද් (සල්) තුමාණන්ව අද සිහිනෙන් හෝ ජීවමානව දැකිය හැකිද?’ යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

මෙම කාරණය මාගේ විග්‍රහය මත හෝ මා ඉහතින් සදහන් ආකාරයේ පූජකවරුන්ගේ විග්‍රහය මත තේරුම් ගැනීමට වෙහෙසීම අවශ්‍ය  නොවේ. මන්ද මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී කාලයේම මෙම පැනයට පැහැදිලි පිළිතුරක් ලබාදී ඇති බැවිනි. එය මෙසේය.

කවුරුන් මාව සිහිනයක දකින්නේද ඔහු සැබෑවින් ද මාව දකිනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි සහ මුස්ලිම්

ඉතා කෙටිම කෙටි ඉහත හදීසය හොදින් විමසා බලන්නේ ඒ තුල එකින් එකට සම්බන්ධ කාරණා දෙකක් අන්තර්ගත බව ඔබට පෙනෙනු ඇත. එනම්,

  • සිහිනෙන් දැකීම
  • සැබැවින් දැකීම

ඉහත හදීසයට අනුව නබිතුමාණන්ව සිහිනෙන් දැකිය හැකි බව පැහැදිලිය. නමුත් සිහිනෙන් දකින එතුමාණන්ව සැබැවින් ද දැකීම සිදුවන බව එහි පවසයි. මේ අවශ්‍යතාවය සපුරන්නට නම්, එතුමාණන්ගේ සමකාලීනයෙකු වීම හා එතුමාණන් දුටු කෙනෙකු වීම අත්‍යඅවශ්‍ය වේ.

තාර්කිකව බැලුවත් එහි සාධාර්ණයක් ඇති බව ඔබට වැටහෙනු ඇත. මන්ද එතුමාණන්ව නොදැකපු අපි සිහිනෙන් දකින පුද්ගලයා නබිතුමාණන්ම බව තේරුම්ගන්නේ කෙසේද?. නබිතුමාණන් කෙරෙහි තිබෙන අසීමිත ආදරය නිසාත්, එතුමාගේ  හැඩරුව පිලිබදව විවිධ අදහස් අප සිත්තුල තිබෙන නිසාත් එම හැඩරුවට සරිලන පුද්ගල රූපයන් අපට සිහිනෙන් දැකීමට හැකිවනු ඇත. නමුත් එය මුහම්මද් (සල්) තුමාණන් ම බව තහවුරු කරන්නේ කෙසේද?.

මා මෙසේ පවසන විට සමහරක් පිරිස් තවත් හදීසයක් ගෙන ‘සිහිනෙන් දැක්කා නම් ඒ නබිතුමාණන් හැර වෙන කිසිවකු විය නොහැක’ යනුවෙන් තර්කයක් ගෙන එයි. එම හදීසය මෙසේය

කවුරුන් මාව සිහිනෙන් දකින්නේද ඔහු මාව ම දකින්නේය. නියත වශයෙන්ම ශෙයිතාන් (සාතාන් (නම් නපුරා)) මාගේ වෙස් නොගන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

ඉහත හදීසය ඉදිරිපත් කරමින් ‘කවුරුන් හෝ නබිතුමාණන්ව සිහිනයෙන් දුටුවේ නම්, නියත වශයෙන් ඒ මුහම්මද් (සල්) තුමාණන්මයි,  මොකද ශෙයිතාන් එතුමාගේ වෙස් ගන්නේ නැහැ’ යයි පවසයි. මෙසේ තර්ක කරන පිරිසගෙන් මා විමසන සරල පැනයන් කිහිපයක් ඇත. එනම්,

මෙහි මුහම්මද් (සල්) තුමාණන්ගේ වෙස්ගෙන ශෙයිතාන් නොඑන බව සැබෑවකි. නමුත් වෙනත් කෙනෙකු වෙස්ගෙන ශෙයිතාන් නොඑන බව පවසන්නේ කෙසේද?. අනික මුල්ම හදීසය හි පවසන ‘ඔහු සැබෑවින් ද දකී’ යන හදීස් කොටසට කරන්නේ කුමක්ද?. එක හදීසයක් පිලිගෙන තවත් හදීසයක් ප්‍රතික්ෂේප කරනවාද?. නොඑසේ නම්, හදීස් දෙකම ගෙන පොදු එකඟතාවයකට එනවාද?.

ඉහත හදීසයන් දෙකේ අදහස ගෙනදෙන හදීස් ගණනාවක් හදීස් ග්‍රන්ථයන් හි දකින්නට ලැබේ. එම හදීස් සියල්ලේම හරය පහත කාරණා තුනමය. එනම්,

  • නබිතුමාණන් ව සිහිනෙන් දකින්න පුළුවන්,
  • එසේ දකින පිරිස් ජීවමානවද නබිතුමාව දකීවි,
  • ශෙයිතාන් නබිතුමාණන්ගේ වෙස් ගන්නේ නැත,

මෙතැනදී ඉස්ලාම් දහමේ මූලික කොන්දේසියක් ඔබේ අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි. එනම්, සැබෑ මුස්ලීම්වරයෙකු සැමවිටම කලයුත්තේ තමන්ට අවශ්‍ය ආකාරයට හෝ තම මතවාදය තහවුරු කරන ආකාරයට ආගමික ඉගෙන්වීමන් තෝරා බේරාගෙන කොටසක් පිලිගෙන කොටසක් ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එක විෂයක් පිලිබදව කථා කරන සියළු ඉගෙන්වීමන් හොදින් පරිශීලනය කොට සියළු ඉගෙත්වීමන්ට සාධාර්ණයක් වන ආකාරයට එකඟතාවයකට පැමිණීමයි.

ඒ අනුව ඉහත කාරණා තුන වලංගු වන ආකාරයට එකඟතාවයකට එන්නේ නම්, මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් දැකිය හැක්කේ එතුමාණන් ජීවමානව සිටී කාලයේ ජීවත් වූ, එතුමාණන්ව දැකපු පිරිසට පමණි. එතුමාණන්ගේ වෙස් ගෙන ශෙයිතාන් නොඑන නිසා එතුමාණන් සිහිනෙන් දකිනවිට හා එම සිහිනය අදාල සිද්ධියේ දී ශෙයිතාන්ගේ කුමන්ත්‍රණයක් එහි ඇති නොවන නිසා එම සිහිනය සම්බන්ධ ගැටළුවක් ද ඇති නොවනවා යනුවෙනි.

නමුත් මුහම්මද් (සල්) තුමාණන්ව කිසිදා නොදුටු අප සිහිනෙන් කිසිවකු පැමිණ ‘මම තමයි මුහම්මද් (සල්)’ යයි පවසයි. නම් එය ඉතා භයානක තත්වයකි. මන්ද එම සිහිනය පිලිගැනීම තුලින් සමාජය තුල වැරදි මතවාදයන් හා මිත්‍යාවක් ඇතිවීමටත් ඉහත හදීසයන්ට වැරදි අර්ථකතනයන් ලබාදීමටත් එය හේතුවක් වනු ඇත. අනිත් කාරණය නම්, වාදයකට එම සිහිනෙන් පැමිණියේ මුහම්මද් (සල්) තුමාණන් වූවත් එය ඉහත හදීසයන් පදනම් කරගෙන හෝ එසේ නොමැතිව එම සිහිනයෙන් දැකපු පුද්ගලයා ප්‍රතික්ෂේප කිරීම ඉස්ලාම් දහමට අනුව වරදක් නොවේ.

එසේනම් අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නේ. මුහම්මද් (සල්) තුමා මගේ සිහිනෙන් ආවා ඇවිත් මට මෙහෙම කිව්වා, අරම කිව්වා… යන ඉතා භයානක දොරටුව විවෘත කරනවාද?. නොඑසේනම්, මුහම්මද් (සල්) තුමාණන් සිහිනෙන් දකින්න බැහැ. එය කාගේ හෝ ප්‍රෝඩාවක් යයි ඒ අවදානම් දොරටුව සදාකාලිකව වසා දමනවාද?. තීරණය ඔබටම බාරයි.

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *